Monday, December 10, 2012

දුක්බර ජීවිතයක්....

කොහෙන් කොහොම පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ලියන්න යන්නේ කවුරුත් අහන්න කැමති නැති කියවන්න කැමති නැති දුක්බර කතාවක්. මේක කියවලා සමහර විට කාටවත්ම දුක හිතෙන්නේ නැති වේවි. කියවලා අන්තිමට පිස්සු කියලා කියන අයත් ඉදිවි. ඒත් අපේ ජිවිතේ දුක දරාගන්න අමාරු ලොකු දුකක් වෙන්නේ අපිටමයි.... කර කියාගන්න කියා ගන්න කෙනෙක් නැතිම නිසා මම මෙතන ලියනවා.

මම පුංචිම පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු 2 මාස 11 වෙනකම් ගොඩක් ආදරේ ලැබුවා. මම ඉපදෙන්න ඉද්දි අම්මායි අප්පච්චියි අක්කායි තුන් දෙනා ඉදලා තියෙන්නේ පොඩි කුලි ගෙදරක. ඒ ගෙදර පොඩි වුනත් සතුට ගොඩක් තිබිලා තියෙනවා. අපේ අම්මායි අප්පච්චි හරි ගොඩක් සමඟියි. අපේ ගෙදර ගොඩක් වැඩ කෙරුණේ අප්පච්චිගේ අතින් හේතුව වුනේ මම ඉපදෙන්න ඉද්දි අම්මාව මහන්සි කරන්න අකමැති නිසා, මා ඉපදුනාට පස්සේ අම්මා මගේ වැඩ කරන නිසා.

මම ඉපදෙද්දි අපේ අක්කාට අවුරුදු 8යි. මම ඉපදුනේ තනියෙන් නෙවේ. මාත් එක්කම අයියා කෙනෙක් හිටියා මට වඩා එයා විනාඩි ගාණක් වැඩිමල්. ඒත් එයා ඉපදිලා ටික වෙලාවකින් මට එයාව නැති වුනා. අදටත් මට හිතෙනවා අයියාවත් හිටියා නම් කියලා. ඒත් මම ඒ තරම් වාසනාවන්ත නැහැ. මම ඉපදුනාම අපේ ගෙදර සතුට තවත් වැඩි වෙලා තියෙනවා. අප්පච්චි අම්මා අක්කා මේ හැමදෙනාම මට ගොඩක් අදරෙයි. අපේ අප්පච්චිගේ පැත්තේ නෑදෑයෝ මට අදරේ වුනාට අපේ අම්මාගේ අක්කායි එක මල්ලි කෙනෙකුයි හැරුනාම මම වෙන සහෝදරයෝ අම්මාට ඉන්නවා කියලා දැනගත්තේ ලගදි

මාව නෑව්වේ කැව්වේ හැමදේම කලේ අප්පච්චි. අප්පච්චි ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් මාව හෝදලා ලස්සන ඇදුමක් අන්දලා වඩාගෙන තමා අනිත් හැම වැඩේම් කරන්නේ. අම්මා ඉස්කෝලේ ඇරිලා එන්න පරක්කු වෙනවා. ඒ ආවාම මට කිරි බොන්න විතරයි අප්පච්චි මාව අම්මා ලඟට දෙන්නේ. අප්පච්චි තරම් මට ආදරේ කල කවුරුත් නැහැ. මාව රෑට නිදි කරවන්නේත් අප්පච්චිම තමා. එහෙම නිදි කරවන්න කලින් හඳ තියෙන රෑක් නම් එලියේ සිමෙන්ති පඩියේ ඉදගෙන මාව ඔඩොක්කුවේ තියාගෙන කවි කියනවා. අම්මයි අක්කයි දෙන්නවත් ලගින් තියාගෙන. කවි කියලා මාව නැලෙවුවෙත් අප්පච්චි. මාව නලවන්න කිව කවි වලින් මම ගොඩාක්ම ආසා "හදපානේ වැලිතලා... සුරකුමරියෝ මල් සලා...." කවි වලට.

ඒ කාලේ ගොඩක් ලස්සනයි. මට අප්පච්චිගේ අම්මාගේ අක්කාගේ ආදරේ ගොඩක් ලැබුණා. ඒත් හරි අහම්බෙන් කාලය වෙනස් වුණා. මට අවුරුදු 2 මාස 10 අක්කාට අවුරුදු 9 මාස 11. අක්කාට අවුරුදු 10 ලබන්න දවස් ගානක් තිබුණේ. අපේ අප්පච්චි හදිස්සියේම අසනීප වුනා. ගැස්ට්‍රයිටිස් නිසා අමාශය තුවාල වෙලා. මාසයක් ඉස්පිරිතාලේ හිටියා. එක දවසක් මාව එක්ක ගියා බලන්න. අප්පච්චි කිවා "බඩ රිදෙනවා මගෙ පුතේ" කියලා. මම කිවා "අප්පච්චි කොට්ටේ බඩට තියලා තද කරගන්න" කියලා. කොහොමහරි අප්පච්චි හොද වුනා. අගෝස්තු 27 අප්පච්චි ගෙදර එන්න හිටියේ සනීප වෙලා.

ඒත් අවාසනාවකට වගේ අපේ අප්පච්චි එදා පාන්දර අපිව දාලා ගියා. අයේ කවදාවත්ම අපි ලගට එන්නේම නැති වෙන්න අපිව දාලා ගියා. අපේ අප්පච්චිව ගමේ අරන් ගියා. මම හිතුවේ අප්පච්චි නිදි කියලා. මම ලගට ගිහින් කතා කලා අප්පච්චිට නැගිටින්න කියලා. අම්මාට කිවා අප්පච්චිව ඇහැරවන්න කියලා. ඒත් මගේ අප්පච්චි නැගිට්ටේ නැහැ. මාත් එක්ක කවදාවත් තරහා වෙන්නේ නැති අප්පච්චි තරහා වෙලා නිදාන හිටියා. අප්පච්චිව සොහොනට ගෙනිහින් වල ඇතුලට දාලා පස් දාද්දි මම කෑගහලා ඇඩුවා අපේ අප්පච්චිව වහන්න එපා කියලා... ඒ වෙලාවේ තමා මට තේරුනේ අප්පච්චි අයෙමත් මාව වඩාගෙන ඉන්න එන්නේ නැහැ කියලා.

ඊට පස්සේ අපි ආයෙම ආවා අපේ කුලී ගෙදරට. අපිට ලොකු තනි කමක් දැණුනා. අපේ අම්මාට තනියෙන් ගෙදර වැඩ කරන්න පුරුද්දක් තිබුණේ නැහැ. කෑම හැදුවාට ඒවා රස නැහැ. ඊටත් වඩා අම්මා අසනීප වුනා. අම්මාට ඇඳුම හැදුනා. දුක දරාගන්න බැරි කමටම. වෙලාවකට අම්මා පරිප්පු හදනවා පොල් කිරි දාලා නැහැ. රෙදි හෝදන්න, ගෙවල් අස් කරන්න මතක නැහැ. ඉස්කෝලේ ගිහින් එන එක මොනවා හරි රස නැතිව හරි අපිට උයලා දෙන එකයි විතරයි අම්මාට කරන්න පුලුවන් වුනේ. අම්මා බදින්න කලින් ගෙදර ගතකලේත් බැන්දට පස්සේ ගත කලේත් සැපවත් ජීවිතයක්. ගොඩක් සල්ලි නැති වුනත් අම්මාට කරදර තිබිලා නැහැ.

අප්පච්චි නැති එක අපිට දරාගන්න බැරි වුනා. ලොකු අම්මායි චුටි මාමායි දෙන්නා සතියකට වතාවක් ඇවිත් අපේ ගෙදර අස් කරලා රෙදි හෝදලා කෑම හදලා කවලා ගියා. හැමදාම අම්මා මට කෑම කවද්දි මම එපා කියනවා හේතුව අප්පච්චිගේ බත් ගුලි තරම් රස නැහැ ලොකු වැඩියි. ඒ නිසා මම අතින් කන්නම් කියල ටිකක් කනවා. අම්මාට නිදි කරවන්නත් එපා කියනවා අප්පච්ච්ට තරම් ලස්සනට අම්මාට කවි කියන්න බැරි නිසා. මම තනියෙන් ඔහේ හිත හිත නිදාගන්න පුරුදු වුනා. කාලයත් එක්ක මම තනි වුනා.

අම්මා වුනත් ගොඩක් කරදර වලට මුණ දුන්නා. අපිට දුක විතරක්ම නෙවේ සමාජයෙන් කරදර ආවා ආර්ථික අපහසුකම් වලට මුණ දෙන්න වුනා. අපි ගොඩක් දුක් වින්දා අපේ අප්පච්චි අපිව දාලා ගියාට පස්සේ. අම්මාට තිබුණ කරදරත් එක්ක අපිට ඉස්සර වගේ ආදරේ කරන්න වෙලාවක් අම්මාට තිබුණේ නැහැ. ඒත් කවදාවත් අපෙන් ඈත් වුනේ නැහැ. මම පොඩි කාලේම අම්මාට මාව තනියෙන් තියලා යන්න වුනාම දොර වහගෙන ඉන්න කියනවා අක්කා එනකම්. මම ඒ වෙලාවට කියනවා මට සමනලයෙක් වගේ ඔහේ යන්න හිතෙනවා පාර දිගේ කියලා. අම්මා ගොඩක් බයෙන් ඉදලා තියෙනවා මම එහෙම යයි කියලා.

කාලය ගෙවිලා ගියා අපි දුකසේ ටික ටික ලොකු වුනා. මම ඉස්කෝලේ ගියේ අම්මාගේ ඉස්කෝලේවත් අක්කා ගිය එකටවත් නෙවේ. මම ඉස්කෝලේ කැපිලා පෙනෙන කෙනෙක් වුනා මගේ වැඩ නිසා ඒ දග වැඩ නෙවේ. මම ඉගෙන ගත්තා කැපි පෙනෙන විදිහට. ඒ වගේමයි මම කැමති වුන නැහැ කවදාවත් මගේ අප්පච්චි නැති වෙලා කියන්න. ඒකට හේතු ගොඩක් තිබුණා. මම එක වසරේ ඉද්දි අපි පොඩි කුලී ගෙදරක හිටියා. අම්මාට අප්පච්චිගේ සල්ලි වගයක් හම්බ වුනා රුපියල් 17,000ක්. අපේ අම්මාගේ නංගිගේ මහත්තයා (අපේ බාප්පා) අම්මාගෙන් ඒ සල්ලි ඉල්ලා ගත්තා වගා කරන්න මෝටරයක් ගන්න කියලා. වගාව සරු වුනාම ගෙවන්නම් කියලා. පුංචි මම ඇඩුවා අපේ අප්පච්චිගේ සල්ලි දෙන්න එපා කියලා බිම පෙරලි පෙරලි ඇඩුවා. ඒත් අම්මා සල්ලි දුන්නා. නෑදෑකම නැති කරගන්න බැරි නිසා.

ඊට ටික කාලෙකට පස්සේ ඒ කුලීගෙදර අයිති අය ගෙදර ඉල්ලුවා. මාස 6ක අත්තිකාරම් මුදල් තියෙද්දි ඒවා ආපසු නොදීම. අපිට හදිස්සියට ගෙයක් හොයාගන්න පුලුවන්  කමක් තිබුනේ නැහැ. එක දවසක් රෑ හදිස්සියේම අපිට යන්න කිවා. ගෙවල් දෙක වෙන් වෙලා තිබුණ දොර ගලවලා අයින් කලා. පිරිමි ඉන්න ගෙදරක් නිසා අම්මා අපි දෙන්නා දෙපැත්තෙන් නිදි කරවගෙන පහනක් පත්තු කරගෙන මුලු රෑම ඇහැරල අපිව ආරක්ෂා කලා.

පහුවදා ඉස්කෝලේ යන්න ඇදුම් අදින්නවත් විදිහක් නැහැ. මම එක වසරේ වුනාට කාමරෙන් පිට ඇදුම් මාරු කරන්න ලැජ්ජායි. ඒ ගෙදර කාමරෙයි සාලෙයි දෙකම එකයි ඉතින් දොර අයින් කලාම අපිට යන්න තැනක් තිබුනේ නැහැ වෙන........

අදට ගොඩක් දිග වැඩි වුනා. ඒත් මගේ හිතේ දුක මම වින්ද දුක මෙහෙම හරි ලියලා තියන්නම්. කවදා හරි ඔයාට කියවන්න. ඔයා අර ගෑණු ළමයා එක්ක කතා කරන්නේ මේ තරම් දුක් වින්ද කෙනෙක්ට තවත් දුක් දිලා කියලා ඔයා දැනගන්න ඔනේ නිසා.

2 comments:

  1. ම්ම්ම්... දිගටම ලියන්න... අන්තිමේ කමෙන්ට් එක දෙන්නම්...

    ReplyDelete