Tuesday, May 6, 2014

පිස්සුද කියලත් හිතෙනවා .......

හිතට දුකයි දරාගන්න බැරි තරමට.. ඒත් මම තාමත් දුක දරන් ඉන්නවා කාටවත් නොපෙනෙන්න. අද කීප දෙනෙක්ම මට කීවා මම මේ දවස් වල හිනා වෙලාම ඉන්නවා කියලා මම ගොඩක් සතුටින් මේ දවස් වල ඉන්නවා කියලා. ඒත් ඒ කවුරුත් දන්නේ නැහැ මම ඒ තරම් හිනාවෙන්නේ මගේ දුක හංගගන්න කියලා. අඬන්න බරි කමට මම හිනා වෙනවා. හැමෝම ඉස්සරහා අඬලා අනිත් අයගෙ අනුකම්පාවට ලක්වෙන්න මම කැමති නැහැ. මම හිනා වෙලා ඉන්නවා කීවට ආයෙ කවදාවත්ම ඇත්තටම හදවතින්ම සතුටට හිනාවෙන්න ලැබෙන්නේ නැති වේවි. .

ගිය සති දෙකේ වැඩ ගොඩක් වැඩි නිසා මට නියපොතු කපන්න බැරි වුනා. මම අපේ ඔෆිස් එකේ දෙන්නෙක් එක්ක වීඩියෝ එකක් බලන්න ගියා. මමයි කොම්පියුටරේ වැඩ කලේ. ඒ වෙලාවේ එයාලා මගේ ගොඩක් වැවිලා තිබුණ නියපොතු දැකලා මගෙන් අහනවා වෙඩින් එක ලඟද කියලා. මට උඩ බිම බැලුනා. පණ වගේ හිටි කෙනා දාලා ගිය මම මගුලක් ගැන හිතන්නේ කා එක්කද කියලා. මම බය වෙලා මුණ දිහා බැලුවාම කියනවා නියපොතු වවලා තියෙන නිසා කියලා. ඔය වගේ දේවල් අහනවාට වඩා හොඳයි මගෙ ඔලුව පැලුවා නම්. ඒ හන්දාම මේ සතිය පටන් ගද්දිම නියපොතු ටික හොඳටම කපලා දැම්මා. ආයෙම නම් එක දවසක්වත් වැවෙන්නෙ තියන්නෙ නැහැ. ඉස්සර වගේ නියපොතු ටික කාලා හරි දානවා.

කෙනෙක් මට කීවා මම එයාට දෙයියො දීපු කෙනෙක් නෙවේලු. දෙයියන්ට අමතක වෙලා මාව මවලා තියෙන්නේ කවුරුවත් වෙනුවෙන් නෙවේලු. ඒ කියන්නේ මට කවදාවත් ජීවන සහකරුවෙක් ලැබෙන්නේ නැහැ. ඒකට මට දුක නැහැ. ඒත් මම දෙයියො එක්ක තරහයි. එයා මගේ සතුට ඉක්මනටම මගෙන් උදුරගෙන එයා ලගට ගත්තා. මම එයා ලගට එන්න ඕනේ කියද්දි මට එන්න දෙන්නෙත් නැහැ. ඒ හින්දා මම එයා එක්ක හොඳටම තරහයි තරහම තරහයි.

මට හම්බවුනා යාළුවෙක්. එයා මා එක්ක කතා කර කර ඉදලා එක පාරම කතාව නතර කලා. මට හිතාගන්න බැහැ ඇයි කියලා. මම මුලින් එයාගෙන් ඇහුවා එයාට ගෑණු ළමයෙක් ඉන්නවාද කියලා. හේතුව මම කැමති නැහැ එයා මා එක්ක කතා කරද්දි එයාගේ ගෑණු ළමයා එයාට කතා කලොත් කෝල් වේටින් දැකලා හිත රිදවගන්නවාට. මටත් එහෙම දෙයක් වෙලා මම අනන්තවත් ඇඬුවා. එයා කීවා එයාට කෙල්ලෙක් නැහැ කියලා. එයා මට කතා කරන එක අඩු වුනාට මම එයාට වෙනදා වගේම රින් කලා. කෝල් වේටින් පැයකට වඩා. මම පස්සේ දවසක ඇහුවා ඒ ගැන. දවස් කීපයකදි දීපු උත්තර එකිනෙකට වෙනස්. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ. ඇයි මට බොරු කිවේ කියලා.

කොහොම වුනත් හිතට හරි දුකයි හැමදේම නැති වෙන එක නිසා. මේ හැමදේම අතැරලා දාලා කොහේ හරි යන්න තියෙනවා නම් කියලා. සමහර දවස් වලට ගෙදරින් හොඳටම බැණුම් අහනවා කිසිම වැරැද්දක් කරන්නේ නැතිව. මම කරපු එකම වැරැද්ද එයාට ආදරේ කරපු එක. එයා මාව දාලා ගිය එක. ඒක තමා මම කරපු ලොකුම වැරැද්ද මට මේ තරම් දුක දැනෙන්න හැම මොහොතෙම.

මට කාලය දිගේ ආපස්ස්ට ගිහින් වෙනසක් කරලා එන්න අවස්ථාවක් දෙනවා නම් මම ඉස්සර හිතන් හිටියෙ දෙයියො මගෙන් උදුරගත්ත කෙනාව මගේ ලග තියාගන්න පුළුවන් විදිහට වෙනස් කරනවා කියලා. ඒත් දැන් මට එහෙම අවස්ථාවක් ලැබුණොත් මම කරන්නේ එයා මුණගැහුණ මුල්ම අවස්ථාව වෙනස් කරන එක. එතකොට මේ හැමදේම වෙනස් වෙනවනෙ. අද මට මේ තරම් දුකක් ඉතිරි වෙන්නේ නැහැනෙ එතකොට.

දැන් ඇති කියලා හිතෙනවා හිතේ දුකට පිස්සු විකාර ලීවා. සමහරවිට හෙට ඉදන් කට්ටිය මට මානසික වෛද්‍යවරු හොයලා දේවි මොලේ අමාරුවට බෙහෙත් ගන්න කියලා මේක කියවලා. මටත් වෙලාවකට එහෙම හිතෙනවා. එහෙමවත් දෙයක් වේවි නේ.

No comments:

Post a Comment